Monday, October 2, 2023

වෛද්‍ය අංශයේ නව පෙරලියක් ඇති කරමින් ගවයන්ගේ අස්ථි මගින් නව නිපැයුමක් සොයාගත් මහාචාර්ය වරයා





 රට තුළ අද පවතින වර්තමාන තත්ත්වයත් එක්ක වෛද්‍ය ක්ෂේත්‍රය තුළත් අදටත් සැලකිය යුතු ආකාර‍යේ  කඩාවැටීමක් දකින්නට ලැබෙනවා.පසුගිය කාලය පුරාවටම ඖෂධ හිඟ වීම,අත්‍යවශ්‍ය ඖෂධ ගණනාවකම මිල ගනන් දරන්න බැරි තරම් ඉහළ යාම වැනි මූලික ප්‍රශ්න ගැටලු රාශියකට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා.


මේ සියලුම දේවල් එක්ක අසරණ වෙන්නේ රජයේ රෝහලකින් ප්‍රතිකාර ලබා ගන්න එන සාමාන්‍ය ආදායමක් ලබාගන්නා  සාමාන්‍ය ජනතාව.ඒ වගේම තමයි පෞද්ගලික අංශයේ රෝහල් වලට පවා පසුගිය කාලයේ දී ප්‍රතිකාර කිරීමට අත්‍යවශ්‍යම  ඖෂධ වර්ග ලබා ගැනීමේ අපහසුතාවයක් තිබුණා.

මේ සියලුම දේවල් එක්ක තැනට සුදුසු නුවණ භාවිතා කරලා සුදුසුම කාලෙ හරි අපූරු නිපැයුමක් ලංකාවට හඳුන්වා දුන් මහාචාර්යවරයෙක් ගැන කියන්න තමයි මේ සූදානම.එතුමා නමින් මහාචාර්ය ප්‍රසන්න ප්‍රේමදාස මහතා යි. ඔහු ජනරාල්  සර් ජෝන් කොතලාවල විශ්ව විද්‍යාලයේ ව්‍යවසායක සහ පරීක්ෂක ඒ වගේම මහාචාර්යවරයෙක් විදියට කටයුතු කරන තැනැත්තෙක්.


එතුමා විකලාංග වෛද්‍ය විද්‍යාවේ නව පිටුවක් පෙරළමින් පසුගියදා මිනිස් අස්ථි බද්ධ කිරීමට සුදුසු මිල අධික ප්‍රතිකාර ක්‍රමයකට වඩා ලාභදායි ක්‍රමයක් හඳුන්වා දීමට  සමත් වුණා.සාමාන්‍යයෙන් මිනිස් අස්ථි බද්ධ කිරීමකදී ලබා ගන්නා ප්‍රතිකාර මිලෙන් අධිකයි.නමුත් එතුමා ලංකාවේ පවතින මේ ආර්ථික රටාවත් එක්ක දැඩි මිලක් නොගෙවා හරක් ඇටකටු වලින් නිෂ්පාදිත Bone graft material විශේෂයක් නිපදවන්න සමත් වීමත් සමගම එය විකලාංග වෛද්‍ය විද්‍යාවේ නව පෙරළියක් ඇති කෙරූ නිර්මාණයක් බවට පත්වුණා.




මේ සම්බන්ධයෙන් හඳුන්වා දෙමින් මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මහාචාර්යවරයා සඳහන් කළේ නවසීලන්තයේ otago විශ්ව විද්‍යාලයේ සහයෝගයත් ඇතුව ඔහු මේ පරීක්ෂණය සාර්ථකව සිදුකළ බවයි.සාමාන්‍යයෙන් අස්ථි බද්ධ කිරීමක් සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය වල වර්තමාන මිල අධික නිසා ඔහු විසින්  හඳුන්වාදුන් හරක් ඇටකටු වලින් නිෂ්පාදිත මේ Bone graft material විශේෂය ඉතාමත් අඩු  දැරිය හැකි මිල කින් ලබා ගැනීමට හැකියාව තියෙනවා.



ඒ වගේම ඉදිරියේදී අවශ්‍ය අනුමැතිය ලැබුණු පසු මේ නිෂ්පාදකය හරහා අස්ථි බද්ධ කිරීමක් සිදු කිරීමට ඔහු සූදානමින්.එය සීයට සීයක් සාර්ථක වුණොත් එය එතෙක් මෙතෙක් විකලාංග වෛද්‍ය ශාස්ත්‍රය තුළ සිදු කෙරූ තවත් සුවිශේෂී සොයාගැනීමක් වනවා නොඅනුමානයි.

ඉතින් මහාචාර්ය  ප්‍රසන්න ප්‍රේමදාස මහතාණෙනි ඔබට උනුසුම් සුභ පැතුම්…

No comments:

Post a Comment